Wednesday, Mar 10th

Last update:11:35:22 AM GMT

Headlines:
You are here: විශේෂාංග මහපොළවේ හෙට දවස “කියොතෝ” අහෝසි කරනු

“කියොතෝ” අහෝසි කරනු

කෝපන්හේගන්හි කාලගුණ විපර්යාස පළිබද ජාත්‍යන්තර සමුළුවේදී මහා බලවතුන්ගේ විරෝධය කියො‍්තෝ සම්මුතියට එල්ල වුණේ පුදුම සහගත විදිහට යි. කෙසේ වුණත් ඔවුන්ගේ එම විරෝධය පරාජය කරන්නට සෙසු රටවල් සමත් වීමත් එක්තරා ආකාරයක ජයග්‍රහණයක්. එහෙත් කෝපන්හේගන්හිදී කියොතෝ අහෝසි නොවුණාට 2012 න් පසු කියොතෝ එකගතාවය අවසන් වෙනවා. ඉනික්බිතිව ලෝක පරිසර සංරක්ෂණයට න්‍යාය පත්‍රයක් නැතිව යනවා.

“ඒක භයානකයි.” පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යවරයා ඒ පිළිබදව සිය අදහස් දැක්වූයේ එහෙමයි.

අනිත් අතින් කියෝතෝ සම්මුතිය කියන්නෙත් අබාධිත සම්මුතියක්. ගෝලීය උෂ්ණත්වය, කාබන් විමෝචනය යන මේ කාරණා ගැන සමස්ත ලෝකයම එකග වූ බව ප්‍රකාශ කරන්නැයි කියෝතෝ සම්මුතිය ඇති ‍වුණේ. එහෙත් අර කියූ දූෂ්‍යවායු විමෝචනයේ යෙදෙන ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බලවත් රටවල් සම්මුතියට අත්සන් නොකිරීමත් එය ක්‍රියාත්මක කිරීමට විසි වර්ෂයක් කල් ගැනීමත් නිසා තමයි එය අර කියපු ආකාරයේ ආබාධිත ගිවිසුමක් වුණේ. ගිවිසුමට අනුව විසි වර්ෂයක් එසේ සහන කාල පරිච්ජේදයක් ලැබෙන අතර ඉන් පසුව එළඹෙන්නේ අනිවාර්යයෙන්ම සම්මුතියට අනුව කටයුතු කිරීමේ කාල වකවානුවයි. අද ක්‍රියාත්මක වෙන්නේ ඒ දෙවැනි කාල පරිච්ජේදය වන අතර එය 2012 අවුරුද්දේ දී අවසන් වීමට නියමිතයි.

මේ අනුව මුලින් කී සහන කාල පරිච්ඡේදයේදී සම්මුතියට අනුව කිසිදු සාර්ථක ක්‍රියාමාර්ගයක් අනුගමනය කෙ‍රුණේ. බලශක්ති දහනය ඔස්සේ සියලු දූෂ්‍ය කාරක වායු ගෝලයට එකතු වීම පමණක් සිදු වුණා. එතකොට දැන් තියෙන්නේ දෙවැනියට කියපු අනිවාර්ය කාල සීමාව. නමුත් මෙතැනදිත් සිදුවන දෙයක් නෑ. පුරුදු විදිහට වායුගෝලය දූෂණය වෙනවා. පරිසරය හායනයට ලක්වෙනවා. සිදු වූ එකම වෙ‍නස කෝපන්හේගන්හිදී බලවත් ජාතීන් එයට එකග වෙනවා වෙනුවට විරෝධය පෑමයි.

හේතුව ඉතා පැහැදිලියි. ඒ තමයි ඔවුන්ගේ ධනේෂ්වර ආර්ථික පැවැත්ම. ඔවුන්ට එය ප්‍රතික්ෂේප කොට කටයුතු කළ නොහැකියි. ඔස්ට්‍රේලියාව සිය අනම්‍ය ස්ථාවරයෙන් ඉවත් වී සම්මුතියට අනුකූලවීම, චීනය සිය විමෝචන කටයුතු අවම කිරීමේ එකගතාවයක් පෙන්වීම, ප්‍රංශය ගෘහ මට්ටමේ විමෝචන කටයුතු අරභයා හරිත බද්දක් පැනවීම යන හුදෙකලා සිදුවීම් හැරුණ කළ සමස්ත ලෝක පාරිසරික සංරක්ෂණ ක්‍රියාවලියක් අපට දකින්නට ලැබෙන්නේ නෑ.

රථවාහන වායු විමෝචනය අවම කිරීමට කිසිවෙක් එකග නෑ. කෝපන්හේගන් සමුළුවේ දී ඉදිරිපත් කෙරුණ අනිත් වැදගත් යෝජනාවක් වූ‍යේ වාහන වලින් නිකුත් කෙරෙන දූම විමෝචනය අවම කිරීමට හෝ පාලනය කිරීමට කටයුතු කළ යුතුය කියන එකයි. ඒත් අවාසනාවකට මෙන් ඒ යෝජනාවට ලෝකයේ කිසිම රටක් යහපත් ප්‍රතිචාරයක් දිනාගන්නට සමත් වුණේ නෑ. මෙසේ බලන කළ සමුළුව කාලය නිකරුණේ නාස්ති කොට තිබෙනවාද කියන ප්‍රශ්නයක් මතුවෙනවා.

පාඨලී චම්පික රණවක පරිසර අමාත්‍යවරයාට අනුව ලෝකයේ රටවල් එකනෙකාට චෝදනා ප්‍රති චෝදනා නගා ගන්නා තැනකටයි සමුළුව තල්ලු වුණේ. ඒ නිසාම එකගතාවය ප්‍රශ්නයක් වුණා. එසේ බැලූ විට සමුළුව අවසානයේදී ඉදිරිපත් කිරීමට නියමිත දේශපාලන ප්‍රකාශනයත් දියාරු ලියවිල්ලක් වීමට ඉඩ තියෙනවා.

ඒ කෙසේ වෙතත් ලෝක විද්‍යාඥ මතය ඉතා පැහැදිලියි. ඒ අනුව ලෝක කාලගුණය නොසිතූ විරූ වේගයකින් ඉදිරියට යන්න පටන් අරගෙන තියෙනවා. උදාහරණයක් ලෙස සාගර මට්ටමේ ඉහළ යාම මෙතෙක් ගණනය කොට තිබුණේ සෙ.මී. 80 ක තත්ත්වයෙන්. ඒත් අද වන විට එය සෙ.මී. 200 දී ඉක්මවන තත්ත්වයක් දක්වා වර්ධනය වෙන තත්ත්වයක් පෙන්වනවා. 1990 වර්ෂයට සාපේක්ෂව වායු විමෝචනය සියයට 40 කින් ඉදිරියට ගොස් තිබෙනවා. අයිස් කලාපයේ දියවීමද මෙතෙක් කළ ගණනය කිරිම් ඉක්මවමින් තිබෙනවා.

මෙම බරපතල පාරිසරික කඩාවැටීම වඩාත් තදින් බලපානවා ඇත්තේ දකුණු ආසියාවට යි යන්නත් මේ සමගම පෙන්වා දී තිබෙනවා. ශ්‍රි ලංකාව අයත් වන්නේත් දකුණු ආසියාවට යි.

විද්‍යාඥ පෙන්වාදීම් වලට අනුව ඉදිරි අනාගතය ශ්‍රී ලංකාවට නිරන්තර වැසි ඇතිවෙන කාලයක් විය හැකියි. අපේ රට වැස්සෙන් තෙත බරිත රටක් වීමට ඇති ඉඩකඩ වැඩියි. අනික් අතින් වියලි කලාපය තවදුරටත් වියලී යමින් කාන්තාර ලක්ෂණ පහල කරන තත්වයක් ද තිබෙනවා. මෙම අනාවැකි පල කෙරෙන්නේ දත්ත විෂ්ලේෂණයෙන්. ඒ අනුව එය නිවැරදි වීමේ හැකියාව ගැන සියයට සියයකින් සහතික විය නොහැකි වුණත් සිදු වීමේ හැකියාව ප්‍රතික්ෂේප වෙන්නේ නෑ.

“කෝපන්හේගන්” ලෝකයට අලුත් බලාපොරොත්තුවක් වුණේ මෙවැනි පසුබිමක් තුළයි. ඒ අනුව සිදුවන පාරිසරික ව්‍යසන වහාම ආපසු හැරවීමේ අවශ්‍යතාවය ඉතා පැහැදිලිය. ඉතින් එය එසේ නොවුණහොත් 2020 වසරින් පසු උදාවෙන්නේ ආපසු හැරවිය නොහැකි පාරිසරික ව්‍යසන සිහින කාල වකවානුවක්. ඒ අනුව 2020 න් පසු ලෝකය තවදුරටත් වාසයට සුදුසු යහපත් පාරිසරික තත්ත්වයක් අපට ලබා දෙන එකක් නෑ. කුදු මහත් සෑම පාරිසරික ව්‍යසනයක්ම ලෝකය තුළ තහවුරු වෙනවා. යලි වෙනස් කරන්නට තියෙන අවස්ථාව අවම වෙනවා. “ආපසු හැරවිය නොහැකියි” කියන වාක්‍ය කිහිපයේ ආර්ථය වන්නේ එයයි.