“මහරජ ඒ අඹ ගස් ද වෙනත් ගස් ද හැරණ කළ තවත් ගස් තිබේද?”
“ස්වාමීනී, ඒ මේ අඹ ගස ය.”
අපේ ජාතියේ මහා සංස්කෘතියේ ආරම්භය සිදු වන්නේ එවැනි අභියෝගතා පරීක්ෂණයකිනුයි. තවද ඒ පරික්ෂණයට පාදක වූයේ එසේත් නැත්නම් ප්‍රස්තූථය වූයේ අඹ ගසක් බව කවුරුත් දන්නවා. එහෙත් එවන් අඹ වෘක්ෂ ගැන අප නොදන්න බොහෝ දේ තිබෙනවා.
අඹ, පළතුරු ලෝකේ රජු වශයෙන් හැදින්වෙනවා. බෙංගාල බොක්ක වටා පිහිටි නැගෙනහිර ඉන්දියානු, බුරුම, අන්දමන් දූපත් කලාපය මුලින්ම අඹ හටගත් කලාපය වශයෙන් සැලකෙන අතර පසුව ඒවා ඉන්දු චීන කලාපයේ දී එනම් ලාඕසය, කාම්බෝජය හා වියට්නාමය ඇතුළත් පිලිපීනය ආශ්‍රිත ප්‍රදේශයේ දී ද ප්‍රභේදනය වී “පිලිපීන අඹ” නමින් උප මාදිලියක්ද නිර්මාණය වී තිබෙනවා.
නිවර්තන කලාපයේ ඇපල් වශයෙන් ද හැදින්වෙන අඹ බලාපොරොත්තු ඉටුකර දිය හැකි වෘක්ෂයක් ලෙසත් ඉන්දියාවේ දී සැලකෙනවා. එමෙන්ම භූමි අලංකරණය පිළබද තොරතුරු ඇතුළත් පුරාණ ග්‍රන්ථයක් වන “පුරාණ ඵලදාවලිය” ට අනුව අඹ කියන්නේ ගෙමිදුලක සිටිවිය යුතු සුබ වෘක්ෂයක්.
අඹ ගසෙහි ඇති විශේෂතා අතර එය ඕනෑම ප්‍රදේශයක වවා ගැනීමට ඇති හැකියාවත් දේශගුණ විපර්යාස වලට ඔරොත්තු දීමට එය දක්වන සමත් කමත් අතිශයින් වැදගත් ය. යනුවෙන් පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
ඒ අනුව ධ්‍රැව පෙදෙස්, කෙත් බිම්, කාන්තාර වැනි ප්‍රදේශ හැරුණ කළ ලෝකයේ සෑම ප්‍රදේශයකම හොදින් ව්‍යාප්ත වීමට අඹ ගසට පුළුවන් වී තිබෙනවා. අද වන විට ඇමරිකාවේ ෆ්ලෝරීඩා, කැලිෆෝනියා වැනි ප්‍රාන්තවල පවා සාර්ථක ව අඹ වගා කරනු ලබනවා. එයට හේතුව වන්නේ අඹ ගස සතුව ඇති පරිසරයට අනුවර්තනය වීමේ පුළුල් හැකියාවයි. ඒ නිසාම අහිතකර පාරිසරික තත්ව ජයගත හැකි අඹ ප්‍රභේද අභිජනනය හා වරණය මගින් නිපදවා ගන්නාටත් පුළුවන් වී තිබෙනවා.
අනිත් අතින් පවතින දේශගුණික විපර්යාස හමුවේ ඊට හොදින් ඔරොත්තු දිය හැකි බෝග වර්ග මෙන්ම ගොවිපල සතුන් අභිජනනය කරගැනීමේ නව අභියෝගයක් ලෝකය හමුවේ පවතිනවා. එතැනදී අඹ, අපේ ප්‍රධාන ආහාරය නොවුණත් පෝෂක ද්‍රව්‍ය ඌනතාවය (වර්තමාන ආහාර වේල තුළ මෙය ඉතා බරපතල ව පවතින කරුණක්.) නිසා ඇතිවන සැගවුණ වඩගින්න (Hidden Hunger) නැති කිරීමට එයට ඇති හැකියාව නිසාද ආහාර අනාරක්ෂිත බව ඉදිරියේ හොද විසදුමක් වශයෙන් පෙන්වා දී තිබෙනවා. ඉහතදීත් කී ලෙස අඹ වල ප්‍රදේශ හා භූමි දර්ශ සංඛ්‍යාව ඉතා ඉහළ බැවින් අහිතකර පාරිසරික තත්ත්ව යටතේ වුණත් හොදින් පැවතීමේ හැකියාවක් එය සතු වීම මේ සදහා හොද පිටුවහලක් වෙනවා.
අනිත් අතින් ජාන ඉංජිනේරු විද්‍යාව මගින් බෝග ලක්ෂණ වැඩි දියුණු කිරීම, නව ප්‍රභේද වැඩි දියුණු කිරිම වැනි කටයුතුවලට යොමු කිරීමේදී ජාන පදනම වෙනස් වීම නිසා ඇති විය හැකි අනතුරුදායක බලපෑම (වෙනත් බෝග වලට සාපේක්ෂව) අඹ සම්බන්ධයෙන් අවම මට්ටමක යි පවතින්නේ. ආහාරයක් වශයෙන් අඹ වලට ලොකු වටිනාකමක් ද ඒ නිසා ලැබෙනවා.
ලෝක මට්ටමින් ගත් කළ අඹ නිෂ්පාදනයෙන් සියයට 75 ක් ම අයත් වෙන්නේ නිවර්තන සහ උප නිවර්තන කලාපයට යි. ඉනුත් ලෝකයේ විශාලම අඹ වගාකරන්නා වන්නේ ඉන්දියාව යි. එහෙම වුණත් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රතිශතයක් රට තුළ දීම ආහාරයට ගන්නා ඔවුන් අපනයන කරන ප්‍රමාණය සුළු යි. එහෙත් මෙක්සිකෝව, චීනය වැනි රටවල් විශාල වශයෙන් අඹ අපනයනය කරන රටවල් වශයෙන් ප්‍රසිද්ධියට පත් ව තිබෙනවා.
වර්ගීකරණ විද්‍යාවට අනුව Anacardicaceac කුලයට අයත් වන අඹ හොද ජල සම්පාදනයක් සහිතව වියලි කලාපයේ වගා කරන්නේ නම් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අධික වර්ෂාවෙත් උණුසම් ආර්ද්‍ර නිවර්තන තත්ත්වයක් තෙත් කලාපයේ දී අඹ, සිය ප්‍රජනක ශක්තිය යටපත් කරගන්නා බවක් දක්නට ලැබෙනවා. වෙනත් ලෙසකට කියනවා නම් ගස හොදින් වැඩෙනවා. ඒත් ඵලදාව අඩු යි.
මේ වන විටත් ලෝකය පුරාම ව්‍යාප්ත වූ අඹ වර්ග 1365 ක් පමණ සොයගෙන ඇති අතර එයින් ප්‍රභේද 1000 ක් ම අයත් වෙන්නේ ඉන්දියාවට යි. නේපාලය එම සංඛ්‍යාවෙන් 135 කට හිමිකම් කියනවා.
කෙසේ හෝ වේවා අඹ ශරීර සුවතාවය නගා සිටුවන පළතුරු ආහාරයක්. විටමින්, ඛනිජ ලවණ හා ප්‍රති ඔක්සිකාරක (antioxidants) වලින් පොහොසත් වන අතරම පැපොල්වල අන්තර්ගත ආමාශයට ඉතා හිතකර පැපේන් එන්සයිමය හා සමාන එන්සයිමයක් ද අඹවල අඩංගුයි. ඊට අමතරව එක අඹ ගෙඩියකින් දවසකට අවශ්‍ය වන තන්තු ප්‍රමාණයෙන් සියයට 40 ක් වත් ලබාගත හැකි බවට ත් වෙහෙස මහන්සියෙන් වැඩ කරන අයට ශරීරයෙන් වැය වෙන පොටෑසියම් ප්‍රමාණය පහසුවෙන් ලබාගත හැකි ආහාරයක් වශයෙනුත් අඹ ඇගැයීමට ලක් කොට තිබෙනවා.
නමුත් අවාසනාවකට මෙන් සෙසු රටවලට සාපේක්ෂව අපේ රට අඹ ගැන දක්වන සැලකිල්ල ඉතා අවම මට්ටමක පවතින බවකුයි දක්නට ලැබෙන්නේ. කොයි ආකාරයෙන් හෝ මේ තත්වය අප විසින් ම වෙනස් කරගනු ලැබිය යුතු යි. සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩ නගා ගැනීමේ දී පළවෙනිම කොන්දේසිය විය යුත්තේ අපේ ආහාර රටාව කළමනාකරණය කර ගැනීම මිස ඖෂධ වර්ග වැඩි වැඩියෙන් භාවිතා කිරිම නොවන බව මතක තබා ගැනීම වැදගත්.
(තොරතුරු ලබා දීමෙන් සහාය වූ පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයේ ලීල් රන්දෙනි මහතාට ස්තූතියි.)



මහපොළවේ හෙට දවස
කාලයකින් වැසි පොදක් නොලද ඒ මහා ජීවප්‍රවාහය විඩාපත් යෝධයෙක් මෙන් බලා සිටියි. එහි නම කන්නෙලියයි. පරිසර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 2009 වසර අවසානයේ පරිසර මාධ්‍යවේදී හමුව පැවැත්වූයේ ජෛව සම්පත අතින් සිංහරාජ වනාන්තරය ද නොදෙවෙනි කන්නෙලිය නම් ඒ වනාන්තරයේදී යි. වනය පුරා පැවැති වියලි ස්වභාවය නිසා වෙනදා මෙන් සතුන් දක්නට නොලැබුණත් ජල දහරා ඇසුරේ වෙසෙන මසුන්, දුවමින් පනිමින් මෙන්ම සැගවෙමින් සුපුරුදු කෙලි දොලෙන් සිටිනු දකින්නට ලැබුණා. මේ අතර ගස් කදක යටි පැත්තේ එල්ලීගෙන සිටියේ වෙනින් කවුරුවත් නෙවෙයි පිනුම් කටුස්සෙක්.
“පවතින කාලගුණ විපර්යාස නිසා වියලි කලාපය දිගින් දිගටම වියලී යාමේ තර්ජනයෙන් අපේ රටටත් ගැලවෙන්න බැහැ.” එදා රාත්‍රියේ වන නිවහන තුළ දී අමාත්‍යවරයා පුවත්පත් කලාවේදීන් හා පැවැත්වූ සාකච්ඡාවේදී එසේ පැවසුවා.
කන්නෙලිය වනය දකුණු ආසියාවේ ඇති ඒකක ක්ෂේත්‍ර ඵලයක වැඩිම ශාක ඝනත්වයක් ඇති වනාන්තරයක් මෙන්ම මිනිසා හා ජෛව ගෝල රක්ෂිතයක් ලෙසින් ද නම් කොට තිබෙනවා.
ගිං ගගේ ජල පෝෂක ප්‍රදේශය ලෙසින්ද වටිනාකමක් අත්පත් කොටගෙන තිබෙන මේ මහා වනපෙත තුළ කන්නෙලිය ඇල, උඩුගම දොළ, මෙන්ම හෝම දොළද ඇතුළු ප්‍රධාන ජල මාර්ග හා සම්බන්ධ කුඩා ජල දහරා 111 ක් ගලා බසිනවා. ඒ විතරක් නෙවෙයි මීටර් 46 ක් පමණ උසක සිට පහලට ගලා හැලෙන අනගිමල ඇල්ලත් මීටර් 70 ක් පමණ වෙන නාරංගස් ඇල්ලත් වනය පොහොසත් කරන වැදගත් ජල මූලාශ්‍ර දෙකක්.
පහතරට තෙත් කලාපයට අයත් වැසි වනාන්තරයක් වන කන්නෙලියට වාර්ෂිකව මී.මී. 4445 ක වර්ෂාපතනයක් ලැබෙනවා. ඒ අනුව මැයි මාසයේ සිට සැප්තැම්බර් දක්වා වන දීර්ග වැසි සමයකින් මේ වන පෙත පොහොසත්. අනිත් අතින් එයට හේතුව තමයි මෙය නිරිත දිග කලාපයට අයත් වී පිහිටීම. වැසි සමයෙන් පසු පැමිණෙන වියලි කාලයේදී වනාන්තරයේ උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 27 ක් වෙනවා.