විජය නම් වූ හෙතෙම තමන් පා වී ආ ඒ දූපත් රාජ්‍යය කුමක්දැයි හරිහැටි දැන සිටියේ නෑ. අනිත් අතින් වෙරළට ගොඩ බැසීමෙන් පසු දෑත් බිම ඔබා පස්සට වාරු වී හිද ගිමන් නිවාගන්නට ඒ කියපු දූපත් රාජ්‍යයේ වග වාසගම් ගැන අමුතු විස්තරයක් ඔහුට අවශ්‍ය වුනෙත් නෑ. එහෙත් ගිමන් නිවාගත් ඉක්බිති එතැනින් නැගී සිටගත් ඔහු දෙ අත්ලෙහි තැවරුණ වැලි පිස දැමීමට ඒ දෙස බැලුවා පමණයි තමන් ගොඩ බට මේ අපූර්ව දූව කුමක් දැයි සොයා බැලීමට ඔහු ට දැඩි වුවමනාවක් හට ගත්තා විය හැකියි. මේ “තම්බපණ්ණිය” ක් යැයි ඔහු එදා එසේ කීවේ යැයි ඉතිහාසය පවසනවා. මේ කියන තම්පණ්ණී හෙවත් තඹ වන් වෙරළ අයත් වන්නේ විල්පත්තුවටයි. වසර තිස් ගණනක් පුරා ත්‍රස්තවාදී ප්‍රහාර නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්, පරිසර සැරිසර වෙනුවෙන් දොරටු වැසුණ ශ්‍රී ලංකාවේ විශාලතම වනෝද්‍යානය වන විල්පත්තුව පසුගිය 27 වැනිදා යළිත් පරිසර සැරිසර උදෙසා දොරටු විවෘත කළා. ඒ පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
විල්පත්තුවට ඒ නම ලැබෙන්නේ වනය පුරාම දකින්නට ලැබෙන විශාල සංඛ්‍යාවක් වූ විල්ලු නිසායි. විල්ලූ සහිත පරිසර පද්ධතියක් ඇති එකම වනාන්තරය විල්පත්තුවයි. මේ ආකාරයෙන් එහි දකින්නට ලැබෙන විල් සංඛ්‍යාව 40 ක්. ඉනුත් සැලකිය යුතු ප්‍රමාණයේ විල් සංඛ්‍යාව 27 ක් යැයි වාර්තා වෙනවා. මේ විල් අතර කොක්කාරිය, ලුණුවිල යන විල් ලවණ ජලය සහිත විල් වන අතර එවැනි විල් 24 ක් විල්පත්තුවේ තිබෙනවා. කෙසේ වුව මෙතැනදී වැදගත්ම විල් සමූහය වශයෙන් අවධානයට ලක් වන්නේ, මුහුදු මට්ටමේ සිට මීටර් 250 ක් උසින් පිහිටියා වුද ඒ මෙන්ම මුහුදු සීමාවේ සිට කි.මී. 10 ක් දුරින් පිහිටියා වුද විල් සමුහයයි. මෙම විල් කිසිදා ජලය සිදී නොයන විල් වශයෙන් ප්‍රකටයි.
ඓතිහාසික ගවේෂණවලට අනුව, විල්පත්තුව මීට වසර මිලියන 12 කට පෙර මයෝසින යුගයටත් ජලයිසොසිත යුගයටත් අයත් පොසිල සාක්ෂි සහිත හමුවෙන බිමක්. මේ අතර ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් ආයුධ වැනි දැන් පූර්ව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වෙන වළං කැබලි, යකඩ වැනි පුරා සාක්ෂිත් තියෙනවා. වන පෙත පිළිබදව පුළුල් පර්යේෂණයක් සිදු කළ පර්යේෂකයෙක් වන විමුක්ති වීරතුංගට අනුව පොම්පරිස්පුව නම් ප්‍රදේශයට අයත් භූමියේ විශාල මැටි කලවල බහා වළ දැමූ මිනිස් ඇට කැබලි සොයාගෙන තිබෙනවා. ඒ අනුව මේ ප්‍රදේශය එක්තරා ශිෂ්ඨාචාරයකට අයත් වන සොහොන් බිමක් වීමටත් ඉඩ තිබෙනවා. විමුක්තිට අනුව එය කොයි ආකාරයෙන්වත් දකුණු ඉන්දීය ශිෂ්ඨාචාරයට නොව මොහෙන්ජොදාරෝ, හරප්පා වැනි උසස් ශිෂ්ඨාචාර වලට අයත් වන උතුරු ඉන්දීය කලාපයට අයත්යැයි සිතිය හැකි පුරා විද්‍යාත්මක සාක්ෂි යි.
එමෙන්ම මීට වසර 2500 කට පමණ පෙර කාලයකට අයත් වන සෙල්ලිපි මෙන්ම පුද බිම් යැයි සැලකිය හැකි ස්ථාන 60 ක් පමණද වනයට යට වී සැගවී තිබෙනවා. ඉනුත් වීරසෝලි හි ඇති නාග දරණය තුළ වැඩ සිටින බුද්ධ ප්‍රතිමාව සුවිශේෂ යි.
එමෙන්ම වන මැදට යන විට හමුවන පල්ලන්කන්ද පල්ලිය, ඕලන්ද යුගයේ නිර්මාණයක් බව පැහැදිලියි. එහෙත් අද එහි යන ප්‍රදේශවාසීහු සිදු කරන්නේ යාග හෝම ආදී ස්වදේශික චාරිත්‍ර වාරිත්‍ර යැයි අපට කීවේ විමුක්ති වීරතුංග යි.
විල්පත්තුවේ පරිසර අගය
පාරිසරික පද්ධතියක් වශයෙන් ගත් කළ (තමන්ගේ ගවේෂණයේදී පමණක් හමු වූ) සත්ත්ව වර්ග 378 ක් සොයා ගැනීමට හැකි වී යැයි ද ඉනුත් කැමිලියොන් නම් කටුසු විශේෂය දක්නට ලැබෙන්නේ මෙම වන පෙතෙහි (ශුෂ්ක කලාපයේ) පමණක් යැයි ද විමුක්ති වීරතුංගගේ අදහස යි.
විල්පත්තු වන බිම මෙරට ඇති වන උයන් අතරින් පැරණිතම වනෝද්‍යානය වන අතර විශාලතම වනාන්තරය ද වෙනවා. පාරිසරික ගවේෂකයන්ගේ අත්දැකීම්වලට අනුව සුන්දරත්වයෙන් පිරිපුන් වන පියසක් වේ නම් ඒ ද මේ විල්පත්තුව යි.
හෙක්ටෙයාර් 131,667 ක් තරම් වන එය අනුරාධපුර, පුත්තලම සහ මන්නාරම වශයෙන් විශාල ප්‍රදේශයක් තුළ සිය මායිම් විහිදුවාගෙන තිබෙනවා. දකුණු මායිමෙන් කලා ඔයද උතුර මායිමෙන් මල්වතු ඔය සහ මොදරල් ගම් ආරු ද පිහිටියා වූ මෙහි බටහිර පැත්ත බොහෝ දුරට තැනි බිමක් වශයෙන් පිහිටියත් වෙරළබඩට වෙන්නට ඉහළට මතුවුණ පර්වත සහිත ස්වභාවයකින් යුක්තයි. හුනුවිලගම, විලච්චිය සහ තන්තිරිමලේ යන ගම්මාන වලින් මායිම් වන්නේ විල්පත්තුවේ නැගෙනහිර කලාපයයි.
විල් සමූහයකින් සැදුන නිසා විල්පත්තුව යැයි නම් ලද එහි ඇති විල් සංඛ්‍යාව 40 ක් වෙනවා. මේ අතරින් විල් 24 ක්ම ලවණ ජලය සහිතයි. ලුණුවිල සහ කොක්කාරිය කියන්නේ එවැනි ලවණ මිශ්‍ර ජලයෙන් යුත් විල් 2 ක්. මේ අතර බොරුපන විල, කුඹුක විල, කිඹිරි විල, කිල විල්ලු, මහ විල, කුඩා පතැස්ස, නෙළුම් විල, තල විල, උඩප්පු, සෙන්ගපත්තු, කොර විල්ලූ, කුමු විල්ලූ, කුරුත්තු පණ්ඩි, කොකාරිය, පහ පතැස්ස, පෙයින්කි විල, මනික්ක පොලූත්තු, අලම්විල්ලූ, මරික්කරම්, ඉරියකුරම්, මයිල විල, කැන්පුරාම, නෙමද සහ කන්පුරාන් යන විල් අයත් වෙන්නේ විල්පත්තුවේ විශාලතම විල් අතරට යි. මුහුදු මට්ටමේ සිට මීටර් 250 ක් ඉහළින් ද මුහුදු සීමාවේ සිට සැතපුම් 10 ක් ඈතින් ද පිහිටියා වූ මේ විල් සමූහය කිසිදා වියලීය නොයන ජලාශ වශයෙන්ද ප්‍රකට යි.
කදිරමලෙයි සහ පුලුගුතුරෙයි අයත් වන්නේ ද විල්පත්තු ප්‍රදේශයට වන අතර එම ප්‍රදේශ වල පවත්නා ඛනිජ සම්පත් සහ පාංශුමය විශේෂත්වය අතින් කිසිදු ප්‍රදේශයකින් දක්නට නොලැබෙන තරම් යැයි ද වාර්තා වෙනවා.
ඒ සියලු සම්පතින් මෙන්ම විල්පත්තුව වර්ෂාවෙන් ද පොහොසත්. වාර්ෂිකව මි.මී. 1000 ක් 1500 ක් අතර වූ වර්ෂාවක් ලබන මෙම වන පෙත අන්තර් මෝසම් වර්ෂාවට හිමිකම් කියනවා. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27.2 ක් වශයෙන් සටහන් වන අතර මැයි සහ සැප්තැම්බර් අතර කාලය සැලකෙන්නේ වියලි කාලගුණයක් සහිත කාල වකවානුවක් වශයෙනුයි.
ඝන වන වැස්මක් ඇති විල්පත්තුව පදුරු සහිත වන කලාපයක් වශයෙන් ද හැගෙනවා. තවද තණ බිම් ද සමග කඩොලාන කැළයක් ද ඊටම අයත් වෙනවා. ශාක අතරින් පලු, වීර, වෙලන්, දිවුල්, බුරුත, කොහොඹ, මෙන්ම තම්මැන්නා සුලබව දැකිය හැකියි.
පසුගිය අරාජික යුධ සමයේ දී බොහෝදුරට වැනසී ගිය මේ විල්පත්තු වනපෙත පොහොසත් සත්ත්ව විවිධත්වයක් ද සහිතයි. විශේෂයෙන් කොටි බහුල සුන්දර වන කලාපයක් වශයෙනුයි ප්‍රකට ව තිබුණේ. අලින්, තිත් මුවන්, සැම්බුරාවන්, කුළු හරකුන්ගේ ඉහළ ගහනයක් ඇති වනපෙතක් වශයෙන් එය සැලකෙනවා. විල්ලු අවට සරුවට වැඩුණ තෘණ බිම් මේ සතුන් ට හොදින් ආහාර සපයන පාරිසරික කලාප වශයෙන් සැලකෙනවා. කෙසේ වුව ත්‍රස්තවාදය නිසා පරිසර වේදීන්ටත් සංචාරකයන්ටත් අහිමි වූ ඒ සුන්දර වන පෙත පසුගිය 27 වැනිදා පරිසර අමත්‍ය පාඨලී චම්පික රණවක අතින් විවෘත කෙරුණා. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළ අන්දමට ත්‍රස්තවාදයට සීමා මායිම් තිබුණේ නැත. මේ පොදු බිමක්ය, වන පෙතක් ය, පොදු සමාජය ය කියා වෙනසක් තිබුණේ නැත. එසේ හෙයින් මේ වනපෙත බොහෝ සේ දුක් ලබන්නට ද ඇත. එහෙත් තවදුරටත් එය එසේ නොවිය යුතු බවයි ඔහුගේ අදහස.
අමාත්‍යවරයා ගේ අදහස ගැන අපට ද අදහසක් තිබෙන බව මෙහිදී කිව යුතුව තිබෙනවා. ඒ අනුව අප කියන්නේ පැවැති ත්‍රස්තවාදී ග්‍රහණයෙන් වනය නිදහස් කරගත් අකාරයෙන්ම පවතින මානව ක්‍රියාකාරකම් වලින් ද ගලවා ගත යුතුය. වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ ආධිපත්‍යය නැති කල්හි සිදුවූ සෑම සාවාද්‍යතාවයක්ම මෙතැන් සිට නිවැරදි විය යුතුයි.