Friday, Sep 10th

Last update:07:21:05 PM GMT

Headlines:
You are here: සන්නස පුවත්

සන්නස පුවත්

කොළඹ අපිරිසිඳු හෝටල් සොයා හදිසි මෙහෙයුමක්

පාරිභෝජනයට නුසුදුසු ආහාර ‍අළෙවි කළ හෝටල් රැසකට එරෙහිව නඩු පැවරේ. කොළඹ නාගරික ‍සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලීසිය එක්ව මෙම හදිසි වැටලීම සිදුකර ඇත.

කොළඹ මහ නගර සීමාව තුල ඇති හෝටල් සහ ආපන ශාලා පිළිබදව එහිදී සොයා බැලිණි. මහජන සෞඛ්‍යට අහිතකර ලෙස ආහාර ගබඩා කරන හෝටල් රැසක් නිතියේ රැහැනට හසු කර ගැනීමේ  හැකියාව ලැබී තිබේ. පාරිභෝජනයට නුසුදුසු ලෙස ආහාර ගබඩා කර තිබූ ස්ථාන රැසක් ද එහිදී සොයාගෙන ඇත.

එම හෝටල් සහ අපනශාලා හිමියන් සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව  කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් ඕමාර් කාමිල් මහතා අවධාරණය කරයි.

එල්.ටී.ටී.ඊයට සහායවූ 6කට ඉන්දියාවෙන් දඬුවම්

එල්.ටී.ටී ඊ සංවිධානයට සහාය දැක්වූ පුද්ගලයන් හය දෙනෙකුට ඉන්දීය අධිකරණයෙන් දඬුවම් ලබා දී ඇති බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දීය අධිකරණය විසින් මොවුන්ට වසරක සිර දඬුවම් නියම කොට ඇත.


2007 වසර ඉන්දියාවේ කිව් බ්රාන්ච් (Q Branch) පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පවරන ලද නඩුව විභාග කිරීමේන් අණතුරව  මෙම දඬුවම නියම කිරීමට  ඉන්දියානු අධිකරණය තීරණය කර ඇත.

එම ආරංචි මාර්ග සඳහන් ‍කළේ එල්.ටී.ටී.ඊටය සහාය දැක්වීම සඳහා ඔවුන් ලබාගෙන තිබූ ඉන්දියානු රුපියල් ලක්ෂ හතරකට අධික මුදලක් ද අත්අඩංගුවට ගැනීමට  එම පොලිස් නිලධාරීන්ට  හැකියාව ලැබී තිබෙන බවයි.

බදු නිලධාරීන් අද සිට ක්ෂේත්‍ර රාජකාරී වලින් ඉවත්වීමේ තීරණයක්

මාතර ප්‍රාදේශීය ආදායම් බදු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයාට පහරදුන් පුද්ගලයින් මේ වන තෙක් අත් අඩංගුවට නොගැනීම නිසා එයට විරෝධය පළ කරමින් දේශීය ආදායම් බදු නිලධාරීන් අද සිට ක්ෂේත්‍ර රාජකාරී වලින් ඉවත් වීමට තීරණය කර ඇත.

ඒ අනූව බදු එකතු කිරීම , විගණන කටයුතු හා විමර්ශන කටයුතු සඳහා සිය නිලධාරීන් අද සිට ඉවත් වන බව වාර්තා වන අතර මැර ප්‍රහාරයට අදාළ සැකකරුවන් වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇති බවද වාර්තා වේ. තවද දේශිය ආදායම් ප්‍රධාන කාර්යාලය ඇතුළු අනෙකුත් සේවයේ නියතු වූවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි සඳහන් වේ.

පකිස්තානයට මෙරටින් ‍ වෛද්‍ය කණ්ඩායමක්

පකිස්තානයේ ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යාධාර ලබාදීම සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකික වෛද්‍ය කණ්ඩායමක් පිටව ගොස් ඇත.

මෙම වෛද්‍ය කණ්ඩායමට විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක්, වෛද්‍යවරු පස් දෙනෙක්, හෙදියන් පස් දෙනෙක්, ඖෂධවේදීන් දෙදෙනෙක් සහ සහායකයෙක් අයත් වන අතර කණ්ඩායමේ කළමනාකරණ කටයුතු සඳහා වෛද්‍යවරයෙක් ද ඇතුළත් වේ.

මෙම පිරිස සමග රුපියල් මිලියන 2.5ක් වටිනා ඖෂධ හා ශල්‍ය උපකරණ තොගයක් ද යවා ඇති අතර වෛද්‍යවරුන්ට අවශ්‍ය ආහාරපාන ද යැවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පකිස්තානයේ කඳවුරුවල රැඳී සිටින ජනයා අතර බෝවන රෝග පැතිර යාමේ අවදානමක් මතුව තිබේ. මෙහිදී විශේෂයෙන්ම පසුගිය සුනාමි අවස්ථාවේදී සහ කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල සිට වව්නියාවට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණි අවස්ථාවේදී ඔවුන් අතර බෝවන රෝග පැතිර යාම වළක්වාගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ අත්දැකීම් ද උපයෝගී කරගනු ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම වෛද්‍ය කණ්ඩායම එරටට යැවීමට පියවර ගෙන තිබේ.

ඉන්දියාවේ සිට සරණාගතයන් නැවත ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් ඉන්දියාවේ අවතැන් කඳවුරුවල සිටි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් 1000ක පමණ පිරිසක් මේ වන විට මෙරටට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
මෙම පිරිස පසුගිය ජනවාරී සිට පැමිණ තිබෙන අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සරණාගතයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන බව මහ‍‍කොමසාරිස් කාර්යාල පවසයි.

ශ්‍රී ලංකාව, මියන්මාරය, ඇෆ්ගනිස්ථානය වැනි රටවලින් ඉන්දියාවට පැමිණෙන සරණාගතයන්ට යහපත් මට්ටමින් සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් ලබාදීමට කටයුතු කරන අතර කිසිදු අවස්ථාව සරණාගතයන්ට සිය රටින් පිටවන ලෙස බලකර නැති බව මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දී තිබේ.

ඉන්දියාව සරණාගතයන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියක් මේ වන විට අත්සන් කර නැති නිසා සරණාගතයන් පිළිබඳ ක්‍රියාත්මක වන නීති පද්ධතියක් නොමැති වීම අඩු පාඩුවක් බව ද මෙම මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

බී.ටී.අයි. බැක්ටීරියාව නැව්ගත කෙරේ

Imageඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා යොදාගන්නා කියුබාවේ නිෂ්පාදිත බී.ටී.අයි. බැක්ටීරියාව මේ වන විට නැව්ගත කරමින් පවතින බව මැලේරියා මර්දන ඒකකය පවසයි.

මේ අනුව මෙම බැක්ටීරියා ලීටර් 10,000ක් ගෙන්වන අතර ඒ සඳහා රුපියල් මිලියන 30ක මුදලක් වැයකෙ‍රෙන බව මැලේරියා හා වාහක අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් දෙනියගේ මහතා  ප්‍රකාශ කළේය.

මෙම බැක්ටීරියාව මෙරටට ගෙන්වීමෙන් අනතුරුව ප්‍රථමයෙන්ම මහනුවර ප්‍රදේශයේ මදුරු මර්දන කටයුතු සඳහා යොදාගැනීමට නියමිතය. ඉන් අනතුරුව එය අනෙකුත් ප්‍රදේශවල ද භාවිතයට ගැනෙනු ඇත.

මීට අමතරව මේ වන විට දිවයින පුරා මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර මෙම වසර තුළ මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 26,131 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මහජනතාව ගැවසෙන ස්ථානවල ගිනි අවි භාවිතය අවම කෙරේ

මහජනතාව ගැ‍වසෙන ස්ථානවල පොලිස් නිලධාරීන් ගිනි අවි භාවිතය අවම කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ. පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසනුයේ මහා පරිමාණ වැටලීම් වලදී පමණක් පොලිසිය විසින් ගිනි අවි භාවිතය සිදුකිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බවයි. මෙම වැඩපිළිවෙල යටතේ අපේක්ෂා කරනුයේ පොලිසිය සහ මහජනතාව අතර දුරස්ථභාවය තුරන්කොට ඔවුන් අතර සම්බන්ධතාවය වර්ධනය කිරීම බවයි.


ව්ජිත හේරත් සහ අජිත් කුමාර ඇප මත නිදහස්

ගාල්ල පොලිස් ස්ථානයේදී පොලිස් නිලධාරීයෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විජිත හේරත්, අජිත් කුමාර සහ පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ යන මහත්වරුන් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය ඇති බව වාර්තා වේ.

ජාතික ඩෙංගු මර්දන සතිය ඇරඹේ

Imageරජය විසින් ප්‍රකාශයට පත්කරන ලද ජාතික ඩෙංගු මර්දන සතිය අද (16) ආරම්භ වේ. මෙය ලබන 22 දක්වා ක්‍රියාත්මක වේ.
මේ අනුව දිවයින පුරා මදුරු මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහිදී නිවාස, රජයේ ආයතන, පෞද්ගලික ආයතන ඇතුළු මදුරුවන් බෝවිය හැකි සියලුම ස්ථාන විනාශ කිරීමට පියවර ගැනේ.

තවද ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරෙන අතර ජනතා සහභාගිත්වයෙන් සිදුකෙරෙන ශ්‍රමදාන වැනි කාර්යයන් සිදුකිරීමට ද නියමිතය.

ඩෙංගු රෝග වාහක මදුරුවන් මර්දනය සඳහා ජාතික මට්ටමෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත ද දැඩිව ක්‍රියාත්මක කෙරේ.

ඩෙංගු රෝගය මර්දනය සඳහා සියලුම ආරක්ෂක අංශවල සහයෝගය ද ලබා‍ගැනෙන අතර මේ සම්බන්ධයෙන් පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා ඩෙංගු මර්දන ජාතික වැඩපිළිවෙළට අවශ්‍ය රජයේ අනුග්‍රහය ලබාදීමට ද පියවර ගෙන ඇත.

මේ අතර ඩෙංගු රෝගයෙන් අසාධ්‍ය තත්වයට පත්වූ රෝගීන්ගේ රුධිර තරල පරිමාව ඉහළ නැංවීම සඳහා යොදාගනු ලබන ඩෙක්ස්‍ට්‍රෑන්-40 නමින් හඳුන්වන විශේෂ ‍ඖෂධයක් ද තායිලන්තයෙන් මෙරටට ගෙන්වීමට රජය පියවර ගත්තේය.

තායිලන්තයේ ඩෙංගු රෝගීන් සඳහා භාවිත කරනු ලබන මෙම  ඖෂධය මගින් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇත.

මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,880 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

JPAGE_CURRENT_OF_TOTAL